2015-10-23

කොසොල් රජතුමා දුටු සිහින 16

කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රට කරවූ පාලකයෙකී. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තේකී. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකී.
දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙ
සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. 



 




 






2015-06-13

හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලි...

රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි


මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා.......//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා


රන් තාරකාවන් දිළෙන රැයේ....... 

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා.......//
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා


රන් තාරකාවන් දිළෙන රැයේ....... 

වයස් භේදයක් නැතිව අපි හැමෝගෙම  හිතට අමුතු විදිහෙ විරහවක් වගේම නෙතට කදුළක් දැනෙන ඉතාම හැගුම්බර ගීතයක්  මේක.  ජගත් වික්‍රමසිංහයන්ගේ ළගන්නා සුළු මිහිරි ගායනයත් ඒ් වගේම පංචසිකගෙ  වීනා නාදය වගේ ගායනයටම ගැලෙපෙන සප්තස්වරයත් නිසා මේ ගීතය සහෘදයන්ව අමුතු ලෝකයකට ගෙනියනව.  අත්දැකීමෙන්මයි කියන්නෙ රෑ නවයට විතර වගේ නිදහසේ ඉන්න වෙලාවක අැස්දෙක පියාගෙන අතීත වැලි තලාවෙන් වැහුණු ඒ අාදරණීය මතකයන් හිතේ රදවගෙන මේ ගීතය අහන්න. අැස් දෙකට කදුළු ඒනවා ඒනවාමයි.

දෙෙනික කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපි හැමෝම ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කලාට පස්සෙ නිදා ගන්න වෙලාව ඒනකන් ටිකක් නිවි හැනහිල්ලෙ ඉන්න වෙලාවක් තියෙනව.  පුද්ගලයගෙන් පුද්ගලයට ඒ වෙලාව වෙනස්. ඒත් පොදුවේ අට, නවය, නවයයි තිහ වගේ වෙලාවක්!  මේ වෙලාවට මුළු අහසම දහස් ගානක් තරු වලින් පිරිල. ඉමක් කොනක් නැති අහසට ඒළිය දෙන්න ඒ් තරු හොදටෝම අැති. ඒ විතරක් නෙමේ දවස පුරාම නිහඩව හිටපු සේපාලිකා ගස් වල මල් හිමින් හිමින් පිපෙන්න පටන් අරගෙන.  නිදහසේ ජීවිතය ගැන මෙනෙහි කරන්න, අතීතය අාවර්ජනය කරන්න, අනාගතය ගැන සිහින මවන්න දවසේ හොදම වෙලාව. මෙන්න මේ වගෙ වෙලාවක් තමයි ගීතයෙ පළමු පේලි කීපයෙන් කියැවෙන්නෙ.ඉතින් අපේ ගීතයට ප්‍රස්තූත වෙච්ච  මේ තරුණයා ලෝකයා ඉස්සරහ නිල වශයෙන්ම වෙන් වෙලා ගිත සිය අාදරවන්තියට අාරාධනා කරනව ළගට ඒන්න කියල.  සැබෑ ලෝකෙදි අැය ඒන්නෙ නැති නිසා ඹහු ඉල්ලන්නෙ සිහිනෙක දැවටිලාහරි හැමෝටම හොරෙන් තමන් ළගට ඒන්න කියල.  කොයි තරම් අහිංසක අාරාධනයක්ද ඒක. 
''හදවතට ලං වෙන්න කාටත් හොරා''
සිහිනයක දැවටී වෙලි

තමන්ගෙ ජීවිතය මහා අන්ධකාරයක තනි කරල අැය යන්න ගිහින් තියෙන්නෙ හරිම නපුරු විදිහට.  තමන් ඒක්ක අාදෙරන් බැදිල හිටිය අැය වෙන්ව ගියඒක ගැන ඔහු පුදුම වෙනව.  අැයට මේ තරම් නපුරු හිතක් තිබුනෙ කොහොමද කියල ඔහු කල්පනා කරනව.  ඉර වගේම හදත් නැගෙනහිරින් පායල බටහිරෙන් බැහැල යනවනෙ.  හද අහසෙ ගමන් කරන්නෙ හරිම හිමින්.  කොයි තරන් හිමින්ද කියනවනන් හද අහසෙන් බැහැල යනව කියල අහස දන්නෙත් හද බැහැල ගියාට පස්සෙලු.  ඉතින් ඒ වගේම මේ සදවතියත් තමන්ගෙ අාදරවන්තයගෙ ජීවිතෙන් අෑත් වෙලා තියෙන්නෙ ඔහුටත් නොදැනීමයි. 
''මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා''
 සඳවතිය පාවී ගියා

කොහොම උනත් මේ අාදරවන්තය තාමත් සිය අාදරවන්තිය නැවත ඒවි කියන ප්‍රේමණීය ඒ්වගේම නිෂ්ඵල බලාපොරොත්තුවත් හිතේ කොනක හංගගෙන බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නව.  ඒක් අතකට ඒක අරුමයක් නෙමේ.  තමන්ගෙ සුන්දර ප්‍රේමය බිද වැටිල අපේක්ෂා භංගත්වයට පත්වුණ මේ ලෝකෙ ඉන්න අාදරවන්තයින් බොහොමයක් දෙනා සිහින දකින්නෙම තමන්ගෙ ප්‍රේමය නැවත තමන් සොයාගෙන ඒනවට.  අැත්තටම විරහව කියන්නෙ මතක් කරන වාරයක් පාසා පෑරෙන  වේදනාවකින් හිත පුරවගෙන ඒ පුපුරු ගහන වේදනාව අැතුලෙ තියෙන අල්ප මාත්‍රික වින්දනයකට. ඒහෙම හැගීමක් ස්වභාව ධර්මය ඒහෙමත් නැතිනම් මානව පරිණාමය විසින් මනුෂ්‍ය චිත්තාභ්‍යන්තරයට කාවැද්දුවෙ අැයිද කියන ඒක හොයල බලන්න වටිනව. ඉතින් මේ අාදරවන්තයගෙ සිහිනය සැබෑ වෙයිද....... කොහෙත්ම නෑ.  අැය නැවත ඒන්නෙ නැ. ඒක ඔහුත් දන්නවා.
 ''නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා''
මුළු රැයම ගෙවිලා ගියා

මේ ලින්ක් ඒකෙන් සිංදුව බලන්න




2013-10-11

අලු පාට මිනිසුන් අතර...



ත්තටම ලෝකෙ හොද මිනිස්සු කියල හදුන්වන්න පුළුවන් අය ඉන්නවද. එහෙමත් නැත්නම් මෙයා හොදයි මෙයා හොද නෑ කියල වෙන් කරල හදුනගන්න පුලුවන් නිශ්චිත නිර්ණායක තියෙනවද කියන එක ගැටලුවක්. මේ ගැන ලියන්න හිතුනෙ විශේෂයෙන්ම පසුගිය දවස්වල හිතට දැනුන අනුභූතීන් කීපයකුත් එක්ක.

අපි ඕන තරම් කාටුන් බලල තියෙනව. ද්විමාන පසුබිමකදි ඕනැම ප්‍රපංචයක අවස්ථා දෙකක් විතරයි ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නෙ. ඒ කියන්නෙ රූපයක උස සහ පළල විතරයි පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ රූප වල තියෙන්නෙ ස්වභාවයන් දෙකයි. එක්කො ධනාත්මකයි නැත්නම් සෘණාත්මකයි. නමුත් අපි ජීවත්වෙන පාට පිරුණු බහුමාන ලෝකෙ ඒ තරම් සරල නැහැ. එකම පුද්ගලයට ස්වරූපයන් කීපයක් තියෙනව. හරියට විෂ්ණු දෙවියන්ගෙ අවතාර වගේ. එකම කෙනාව එක එක අයට එක එක විදිහට පේන්නෙ ඒ අය හිටගෙන ඉන්න තැනට පේන දෘෂ්ටි කේණය අනුව. උදාහරණයක් ගමු ප්‍රභාකරන් මොන ව‍ගේ කෙනෙක්ද කියල ඔබෙන් ඇහුවොත් ඔබ නිසැකවම කියාවි ම්ලේච්ජ ත්‍රස්ත්‍රවාදියෙක් කියල. ඔබ එහෙම කියන්න හේතුවුන ප්‍රධානම සාධකය ඇත්තටම ප්‍රභාකරන් ත්‍රස්ත්‍රවාදියෙක් වීමම නෙමේ. ඔබ ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන සිංහල  ‍‍බෞද්ධ කියන නියැදියට අයිති කෙනෙත් වීම. ඇත්තටම අපි කරන ලොකුම වැරැද්ද තමයි වෙනත් දෘෂ්ටි ප්‍රවේශයන් සහිත තව නියදි තියෙනව කියන එක අමතක කිරීම.

බොහොමයක්  සිනමා නිර්මාණ ගොඩනැගිල තියෙන්නෙම හොද නරක කියන අවස්ථා දෙක අතර දෝලනය වෙන පුද්ගලයින් හා සිදුවීම් කේන්ද්‍ර කරගෙන. සිනමා කෘති විතරක් නෙමේ වෙනත් සාහිත්‍ය නිර්මාණ තුළත් දකින්න පුළුවන් තේමාව මේක තමයි. ඉතින් චිත්‍රපටය අවසානයේ නරක පරදිනව හොද ජයගන්නව‍. කතාවෙ අන්තිම මොහොතෙදි වීරයට පරාජ‍ය වුනාට පස්සෙත් දුෂ්ටය මොකක් හරි ලොකු නොහොබිනා වැඩක් කරන්න ගිහිල්ලම  සදා සොත්ති වෙන්නෙ බැරිවෙලාවත් දුෂ්ටය නරඹන්නන්ගෙ අනුකම්පාවට පාත්‍ර වුනොත් චිත්‍රපටිය පුරාවට වෙන් කරල තියාගත්තු හොද නරක කියන කුලකයන් දෙක සම්මිශ්‍රණය වෙලා රසිකයින්ට පූර්ණ තෘප්තියක් නොලැබෙයි කියන බය නිෂ්පාදකයට තියෙන නිසා. ඒත් මටනන් දැනෙන්නෙ මේ අන්ත දෙක මුහු කරලා නිර්මාණය කරපු කෘතියක සංකීර්ණ බවක් වගේම අමුතු  රසවින්දනයකුත්  තියෙනව කියල.

කෙලින්ම අපේ මාතෘකාවට ආවොත් ඇත්තටම අපිට කාවවත් හොදයි නරකයි කියල බෙදන්න බෑ. මිනිස්සු හරිම සංකීර්ණයි හැම කෙනෙක් තුළම හොදයි නරකයි දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. නරකයි කියල අයින් කරල දාන එකයි හොදයි කියල ලංකර ගන්න එකයි දෙකම ටිකක් අන්තවාදී වගේ පේන්නෙ. ‍‍ෆ්‍රොයිඩ් කිව්වෙ උපතින්ම මිනිස්සු නරකයි කියල. ඒකට හේතුව ළමයෙක් ඉපදෙන්නෙත් තිරිසන් සතෙක්ගෙ වගේම අවිඥ්ඥානය විතරක් තියාගෙන. අවිඥ්ඥානය කියන්නෙ civilized නොවුන ප්‍රථමික ආශාවන් පිරුණු තිරස්චීන සිතුවිලි සමූහයක්. ඒක පිරිල තියෙන්නෙ ඊෂ්‍යාව, ‍වෛරය, කේන්තිය, ආශාව වගේ දේවල් වලින්. හරියට නොහික්මුනු අස්සයෙක් වගේ. ඊට පස්සෙ සමාජයෙන් තමයි ශිෂ්ට සම්පන්න කරන්නෙ. කවුරුහරි කෙනෙක්ගෙ හිත හොද නෑ කියන එකෙන් තේරෙන්නෙ ඒ පුද්ගලයා හිටපු සමාජය හොද
නෑ කියන එකයි. ඒකනෙ නැන්දම්ම දිහා බලල දුවව ගන්න කියන්නෙ. දුවෙක් ශිෂ්ට සම්පන්න කරන්නෙ එයාගෙම අම්ම. ඉතින් දුවත් ගොඩක් වෙලාවට අම්ම වගේම  වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඉතින් දුවගෙ පරමාදර්ශය අම්ම නොවුනොත් මේක වෙනස් වෙන්න පුළුවන්.

        ඒවගේම තමයි මිනිස්සු කරන කියන දේවල් ඇත්තටම බැලුවොත් සමාජ ප්‍රකාශනයන් social issues විදිහටයි තේරුම් ගන්න වෙන්නෙ. එමිල් ඩර්කයිම් කියන සුප්‍රකට සමාජ විද්‍යාඥයා එයාගෙ සියදිවි නසාගැනීම පොතේදී දීර්ඝ වශයෙන් විස්තර කරල තියෙනව දිවි නසා ගැනීම සමාජ ප්‍රකාශනයක් මිසක් පුද්ගලික ක්‍රියාවක් නෙමේ කියල. නමුත් මිනිස්සු වහ බීපු ‍පුද්ගලයව විවේචනය කරනව මිසක් එයාව ඒ තත්වෙට පත් කරල වහ බොන්න බලකලේ සමාජය කියන එක ගැන හිතන්නෙ නෑ.

 අපි මෙතනදි  ස්ත්‍රීවාදයෙනුත් කරුණු ටිකක් ගත්තොත් හොදයි කියල හිතුනා නොගෙන බැරි කමට. ඒත් ස්ත්‍රීවාදය කියන්නෙ වෙනමම කතා කළයුතු පුළුල් මාතෘකාවක්. සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් පිරිමි සංහතියම කොටස් දෙකකට බෙදනව. හොද පිරිමි සහ නරක පිරිමි කියල. මෙතනදි කෙනෙක් හොද පිරිමි විදිහට සලකන්නෙ තමන්‍ට සමීප තමන්ව ආරක්ෂා කරනව කියල හිතන අය. තාත්ත, අයිය, මල්ලි, බෝයි ‍ෆ්‍රෙන්ඩ්, හොදම පිරිමි යාලුවා ආදී වශයෙන්. මේ අය තමන්ගෙ හොද පිරිමි ගො‍ඩේ හිටියට වෙන කාන්තාවකට සාපේක්ෂව නරක ගොඩේ ඉන්න පිරිමි අය වෙන්නත් පුළුවන්. ඒ අය හැර සමස්ත පිරිමි ප්‍රජාවම විස්වාස නොකළයුතු ලං නොවිය යුතු අය හැටියට ඒ අයට දැනෙනවා ඇති. ඇත්තටම කාන්තාවෝ පිරිමින්ව හොද සහ නරක එහෙමත් නැත්නම් කලු සුදු විදිහට බෙදන්න යොදා ගන්න නිර්ණායකවල නිර්වද්‍යතාවය ගැන වෙලාවකට ගැටළුකාරී වගේ හිතෙන්නෙ පිරිමි නිසා කායිකව හරි මානසිකව හරි අමාරුවෙ වැටුන කාන්තාවන්ගෙ පාපොච්ජාරණ ඇහුවාම. මන්
හිතාගෙන හිටියෙ එයා හොද කෙනෙක්  කියල, මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ කෙනෙක් කියල,  දැක්කහමනන් හොදයි වගේ පෙනුන, නරකයි වගේ පෙනුනට එයා හරි හොදයි, ආදි වශයෙන් වූ පශ්චාත් නිගමනයන් අපි ඕන තරන් අහල තියෙනව. එංගල්ස් කිව්වෙත් කාන්තාව ඉතිහාසය පුරාවටම පිරිමියාට රැවටෙනව කියල. නමුත් එතනදි පිරිමියා කිව්වෙ පුරුෂවාදී සමාජ දෘෂ්ටියට මිසක් හෞතික පිරිමියෙකුටම නෙමේ. කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයව රවට්ටල  කොහොමද ගෑණු මොලේ කියල ආඩම්බර උනාට එයා දන්නෙ නෑ ඉපදුනු දවසෙ ඉදන්ම එයා පිරිමින් විසින් ගොඩනගපු පුරුෂමූලික දෘෂ්ටිය කේන්ද්‍ර කරගත්තු මහා සමාජය ඇතුළ රැවටිලා ඉන්නෙ කියල. ඒක නොතේරෙන එක ඇත්තටම ගෑනුකමේ හැටිද නැත්තන් ස්ත්‍රියගේ සමාජ දෘෂ්ටියේ ස්වභාවයද කියන එක ගැන තර්ක කරන්න පුළුවන්.කොහොම වුනත් පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන කාන්තාවො එන්නෙ පිරිමි ළගටම තමයි.

අවසාන වශයෙන් කියන්න තියෙන‍්නෙ හැම කෙනෙක් ළගම සාපේක්ෂ වශයෙන් හොද නරක දෙකම තියෙනව ‍නරක අඩුවෙන් තියෙන අයව ජීවිතයට ලංකරගන්න එක තමයි කරන්න ඕන.යාලුවෙක් වැරැද්දක් කරපු පලියට එයා නරක කෙනෙක් විදිහටයි යම්කෙනෙක් තමන් කැමති හොද දෙයක් කළහම එයා හොද කෙනෙක් විදිහටයි ලේබල් කරන්න කලින් දෙපාරක්  හිතන එක හොදයි. හැබැයි සාපේක්ෂව හොද වැඩියෙන් තියෙන අය තෝරාගැනීමේ ඵලදායීතාවය ඔබේ සමාජ විඥ්ඥානය මත තමයි රැදිල තියෙන්නෙ. එහෙම නැතුව මිනිස්සුන්ව කලු සුදු විදිහට බෙදන්න එපා. අපි ඔක්කොම අලුපාට මිනිස්සුනෙ....

2013-04-26

(අ)සම්මත කතාවක්...


සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවි
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

.....
සෙංකඩගල වටකළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

.....
වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ.................



සෙන්කඩගල රජ මැඳුර තුළ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය හඩා වැටෙයි.ආදරය කිරීම මරණය උරුමවන වරදක් වන්නේ කෙසේදැයි බලා සිටින සියල්ලන්ගේම  හිතට නැගේ. වධකයන් කැටුව ගෙලෙහි රතු මල්මාලාවක් දමා මළ බෙර හඩවමින් දංගෙඩිය වෙත පිය නගන  සිය ළබැදි ‍‍සහෘදයා දෙස කුමරිය අවසන් වතාවට බලා සිටියි. ඔහුගේ හිස කදින් වෙන් වන්නේ තමන් වෙත පෑ සෙනෙහස නිසා බව ඇය දනී.ඉක්මන් ගමන් එපා පා පැකිලේවි යැයි ඇය සිතින් මුමුණයි.නමුත් එය කාට නම් ඇසේවිද? මතු සංසාරේ දී හෝ තනි නොකරන්න..!!!  ඒ ඇගේ අවසන් පැතුමයි.

දෙවන රාජසිංහ රජ කරන සමය තුළ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත් වූ හරසරින් පිළිගෙන ඇත. කාලයේ ඇවෑමෙන් ලැනරෝල්හට කන්ද උඩරට තානාපතිකම හිමි විය. නමුත් පසුව ඔහුගේ හැසිරීම පිළිබඳව නොරිස්සීම හේතුවෙන් රජු ඔහුව සිර දඩුවමකට යටත් කරනු ලැබූ අතර, ලැනරෝල්ගේ දැක්වූ කුළුපඟු භාවය නිසා නිදහස් කර මුහන්දිරම් පදවියක් පිරිනමා ඇත. 

ලැනරෝල් පදිංචිව සිටියේ මහනුවර වන අතර, ඔහු පෘතුග්‍රීසි කාන්තාවක් විවාහ කරගන්නා ලදී. මෙම දෙපළට ලැබුණු දරුවන් අතරින් එක් දරුවෙකි පේදෲ ගැස්කොන් හෙවත් අපගේ කථාවේ එක් චරිතයක්වන දස්කොන්. රජුට සෙන්කඩගල, හඟුරන්කෙත සහ කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම රාජ මාළිග තිබුණ අතර එයින් හඟුරන්කෙත පිහිටි රජ වාසල අසල ඔහු හැදී වැඩුණු බව ඉතිහාස කථාවල සඳහන් ය. දස්කොන් උපතින්ම ඉගෙනීමට හපනෙක් විය. සුරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමණේර හිමි වෙතින් හෙතෙම සිංහල භාෂාව ඉතා හොඳින් ප්‍රගූණ කරන ලදී. එමෙන්ම ජුසේවාස් පියතුමා මඟින් පෘතුග්‍රීසි භාෂාවත් කිතු දහමත් ඉගෙන ගන්නා ලදී. දස්කොන් තම සම වයසේ පසු වූ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමරු හා ඉතා තද මිතුදමක් තිබිණි. මේ දස්කොන්ගේ ළමා අවධිය ය.

දෙවන රාජසිංහ රජු 1634 -1686 දක්වා පාලනයකළ අතර ඔහුගේ අනුප්‍රපාප්තිකයා ලෙස දෙවන විමලධර්මසූරිය රජු රජකමට පැමිණේ. දෙවන විමලධර්මසූරිය රජු අභාවයෙන් පසුව එනම් ක්‍රි. ව. 1707 දී ඔහුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාට සිංහාසනය හිමිවේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1707 සිට 1737 දක්වා රජ කරන ලද අතර ඔහු සිංහලේ අවසාන රජු ද වේ. නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි. මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර් රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක් හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.

ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ රඳවා සිටීය.

තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම සකස් කර දී තිබිණ.

දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත කවි උපුටා ගැනීමකින් පහත දැක්විය හැක.

යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?

ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ

හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය. එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත් ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත් අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ? ඒ නිසා දස්කොන් විසින්ම මෙය සිදු කළා යැයි බොහෝ දුරට උපකල්පනය කළ හැකිය.


රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි. දස්කොන් තමන් නිවැරැදියි පවසා ''නොක්කාඩු මාලය'' නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ මගින් රජුට ලැබීමට සලස්වනු ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී. කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.

දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක් දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ බිය හේතුවෙන් වහා පලා ගිය හ.


පසු සටහන.
  • දස්කොන් යනු කාව්‍ය නිර්මාණකරුවෙකු උවද, දස්කොන් - ප්‍රමිලා යන දෙදෙනගෙන් සංවාද හැර වෙනත් කවි ඇති බවට සදහනක් නැත.
  • ඉන්දීයාවේ මදුරාසිය ප්‍රදේශයේ සිට මෙහි ආ ප්‍රමිලා මෙතරම් භාෂා හැසිරවීමක් සහිත කාව්‍ය නිර්මාණය කළේ කෙසේ දැයි අපැහැදිලි ය.
  • දස්කොන් පිටදේසක්කාර යුවලකට මෙරටදී හමුවූ මෙන්ම, පිටදෙසක්කාර ගති, සිරිත් විරිත්, ආගමික මතවාද හෙවත් මිෂනාරි ආගමික ප්‍රචාරය මැදිහත් වූවෙකි. එමෙන්ම මෙම කාල වකවානුවේ රජමැදුර විදේශිකයන් බහුල වූ බැවින් ද මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබිණි. තවද ඔහුන්ගෙන් සිංහල රදළ වරුන්ට සහ සංඝයා වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණ එල්ලවීය. එබැවින් සිංහල රදළ වරුන් සහ සංඝයාවහන්සේ මොවුන් සමග උරණව සිටී ය. 
  • රජුගේද ඇති නොමනත් කම් මත ද විදේශීය බලපෑම් මත ද බුදු දහම තවදුරටත් පිරිහී යමින් තිබිණ.
  • දස්කොන්ට මෙම ඉරණම අත්වූයේත් ඔහුන් දෙපළ රාජ උදහසට හේතු වූයේත්, දස්කොන් සහ ප්‍රමිලාගේ කාව්‍යවල තිබූ අඩු පාඩු හේතුවෙන් වස් වැදීමක ප්‍රතිඵලයක් හෝ දස්කොන් හා උරණව සිටි උඩරට රදළවරුන් විසින් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හෝ ලෙස ය කියා ජනප්‍රවාදයේ කියවේ.
  • ප්‍රමිලා බිසව ගැන ඉන් අනතුරුව කිසිදු සඳහනක් ඉතිහාස කථාවල සඳහන් නොවන අතර, එම දිනවලදී රජ බිසවක් මරණයට පත්වූ බවත් ඒ ඇය විය හැකි බවත් විශ්වාස කෙරේ.
  • නරේන්ද්‍රසිංහ රජු හට දරුවන් නොසිටි අතර මේ හේතුවෙන් තම පළමු බිසවගේ සහෝදරයා වූ නායක්කර් රාජකීය වංශික ශ්‍රී විජයරාජසිංහ හට රජකම පැවරීය. මේ අනුව සිංහල පෙළපතේ රජකම නායක්කාර් වංශිකයන්හට මාරු විය. එනම් සිංහල රාජධානියේ සෙංකඩගල යුගයේ සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය අවසාන ය එය වූ අතර, නායක්කර් රාජ වංශයේ ආරම්භය විය.
  • මේ අනුව ශ්‍රී විජයරාජසිංහ රජුගේ සහෝදරිය ප්‍රමිලා ලෙස ද සැලකිය හැකි ය. 
  • සිංහලේ රාජධානිය යටත්කර ගැනීමේ ප්‍රධාන සැලසුම් කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි පවසන පරිදි බිසව සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු මරා දැමූව ද අන්තංපුර ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු ට එම දඩුවම ලබා නොදී ලිහිල් දඩුවමක් ලබා දේ. මේ අනුවද ප්‍රමිලා රජුගේ අග මෙහෙසිය බව සිතිය හැකි ය.

 දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය අවසන් වූයේ එසේය.ප්‍රේමය, ශෲංගාරය, විරහව, වියෝව කැටිවූ මෙම අපූරු කතා පුවතෙහි තිබූ සාහිත්‍යමය රසවින්දනය නිසා පසුකාලීනව නිර්මාණ කීපයකටම එය නිමිත්තක් වූයේය.කලු හා සුදු මුසු වූ අලු පැහැ මිනිසුන් සිටින ලොවක කවුරුන් වැරදිද කවුරුන් නිවැරදිද යැයි කාටනම් කිව හැකිද......

පොත පත ඇසුරිනි.

2013-01-20

හිත හීලෑ කිරීම...

තමන්ට කෙනෙක් අකමැති වෙන්නෙ හරි තමන්ව ප්‍රතික්ෂේප කරන්නෙ හරි ඒ කෙනා අකමැති මොනවහරි දෙයක් තමන්ගෙ ළග තියෙන නිසා. ඒ දේ ඇත්තටම තමන්ගෙ වැරැද්දක්නන්  ඉක්මනටම හදා ගන්න එක තමයි හොද. වැරැද්දක් නොවී ඒ තමන්ගෙ හැටිනන් හරි ඒ එයාට පේන විදිහනන් හරි වුනොත් අකමැති ‍කෙනාට බම්බුගහගන්න කියල තමන්ගෙ වැඩක් බලා‍ගෙන ඉන්න එක තමා හොදම. මොකද අපට බෑනෙ ගමටම සිරියාවි වෙන්න. කොහොම වුනත් මම මේ කියන්න හදන්නෙ එයා අකමැති දේවල් ළග තියා‍ගෙනම කැමති කරගන්න විදිහෙ Short and Sweet ක්‍රමයක් ගැන.

 වශී ගුරුකම් කිව්වහම හැමෝම දන්නවා. පත්තර වලත් ඔය ඕන තරන් තියෙන්නෙ. මේ දේවල් ඈත අතීතයෙ ඉදලම තිබිල තියෙනව. ආලෝකය තාප‍ය වේගය වගේ ශක්තීන්ට ස්වභාවික බලයක් තියෙනව. ශබ්ද‍යටත් එහෙමයි. ඉතින් මේ ශබ්දය නිසි විදිහකට ගලපල ‍සකස් කරන එකටලු මන්තර කියන්නෙ. මන්ත්‍ර බලය ටික කාලයක් රදව ගන්න සුදුසු භෞතික ද්‍රව්‍යයකට සම්බන්ධ කරන්න වෙනව. හරියට අයන් එක රත් වුනාට පස්සෙ ස්විච් එක off කරලත්  අයන් කරන්න පුලුවන් වගේ.
බෙහෙත්, සුර, ද්‍රව වගේ දේවල් වලට බලය විතැන් කරනව.

කෙනෙකුට මේ දේවල් පට්ට බොරු කියල තර්ක කරන්න අයිතියක් තියෙනව. ඒත්  වාතයට ව‍ඩා බර වස්තුවක් බාහිර බලපෑමකින් තොරව අවකාශ‍යේ තිරස්ව ගමන් කරවන්න බෑ කියල තමන්ගෙ මුළු සේසතම වුනත් ඔට්ටු අල්ලන්න ලෑස්තිවුණු අය හිටිය රයිට් සහෝදරයො දෙන්න එයාලගෙ පළමු සාර්ථක ගුවන් ගමන අත්හදා බලන්න සතියකට කලිනුත්. අනිත් එක හොද වෙලාවට කවුරුහරි හොයාගෙන තිබුනෙ පෘථිවිය  තමාවටේ කැරකි කැරකි සූර්යා වටේ කැරකෙනව කියල. නැත්තන් එහෙම අපි ‍ඉර නගින බහින හැටි පෙන්න පෙන්න ඔප්පු කරන්න හදයි සූර්යා පෘථිවිය  වටේ කැරකෙනව කියල.

ඇත්ත වුනත් බොරු වුනත් වශී ගුරුකම් වලින් කෙනෙකුගෙ හිත දිනාගන්න එක ස්වභාවික නෑ. ස්වභාවික නොවන දේවල් වලට ස්වභාවික පරිසරය ඇතුලෙදි පැවැත්මක් නෑ.  බලය ක්ෂය වුනාම පැවැත්ම අවසන් වෙනව. ඒ වගෙ දේවල් කරන්නාටත් කරවන්නාටත් ප්‍රතිවිපාක ලැබෙනව. අනිත් එක තමන්ට අකමැති කෙනෙක්ව කැමතිකරව ගන්නෙ මොන මගුලටද?

මේ වශී දැහැන පරණ පුස්කොළ පොතනින් අරගත්තෙ. ඒකෙ බලසම්පන්නභාවය ගැන දිවුරල කියල තිබුන.කවුරුවත් අත්හදා බලන්නවත් යන්න එපා. බැරිවෙලාවත් මන්තරේ කිරි ගහට ඇන්න වගේ වැඩ කළොත් එහෙම පස්සෙ ෂේප් වෙන්න විදිහක් නෑ මොකද ප්‍රති බන්ධන මන්තරයක් මේකට නෑ. හරියට වන් වේ පාරක් වගේ.

2013-01-09

මිනිස්සු විතරද ආදරේ කරන්නෙ...

මේක මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්නකාලෙ ගත්ත පින්තූරයක්.
කොළඹ විශ්ව විද්‍යාලෙ පරණ පුස්තකාල ගොඩනැගිල්ල ඉස්සරහ තියෙන මාර ගහ ය‍ට දවසක් පූස් පැටියෙක් නිදාගෙන හිටිය. ඒ ඔය කහපාට එක්කෙනා. පිරිමි සතෙක් වගේ පෙනුනෙ. ‍මෙයාගෙ අනිත් එක්කෙනා ටිකක් එහාට වෙන්න හිටි‍යෙ. මම ඔතනින් ලෙක්චර්ස් යනකොට මාව දැකල බයවුන අර ඈතින් හිටපු පූස් පැටිය දුවගෙන ගිහින් අර ගහ‍යට හිටපු යාලුව ළග තුරුල්වුනා. මම හිමින් ගිහින් මගෙ පෝන් එකෙන් දෙන්නගෙ පොටෝ එකක් ගත්ත. 
2007 දී ඕක ගත්තෙ. 

ඉතින් ඒ පොටෝ එක තාම තියෙනවා. මාර ගහත් ඒ විදිහටම ඇති. ඒත් පූස් පැටව් දෙන්නයි එයාලගෙ ආදරයිනන් තාම තියෙනවද දන්නෙ නෑ.......

2012-12-30

සං‍කේතාත්මක පියා.......

   


ඇත්තටම තාත්ත කියල කියන්නෙ මහ පුදුමාකාර චරිතයක්. දෙවි කෙනෙක් කියල කිව්වත් වැරදි නැහැ. වරදවා හිතන්න එපා මම මේ කියන්නෙ සං‍කේතාත්මක පියා ගැන මිසක් උප්පැන්න සහතිකේ පියාගෙ නම ඉස්සරහින් නම ලියල තියෙන මනුස්සය ගැන නෙමේ. මොකද තමන්ගෙම දුවව  දූෂණය කරන විදිහෙ පිරිමි ඉන්නව අර විදිහට උප්පැන්න සහතිකේට නම දීපු .

සං‍කේතාත්මක පියාගෙ ලක්ෂණ මොනවද කියල බලමු.
තමන්ගෙ ජීවිතයටත් වැඩිය දරුවව වටිනව කියල හිතනව. දරුව ඉපදුනේ අත් වැරදීමක් වෙලා නෙමේ. දරුවට කවන හැම බත් ඇටයක්ම තමන්ගෙ දහඩිය බින්දු වලින් උපයපු දේවල්. දරුවගෙ කුසගින්න වෙනුවෙන්වෙන මිනිහෙකුගෙ කකුල්දෙක ළග වැද වැටෙන්න උනත් ලෑස්තියි. ලංවෙලා බැලුවහම පේනවා දරුවො ජීවත් කරන්න වෙන මහන්සිය‍ට මුළු ශරීරයම දිරල තියෙන හැටි. දරුවට අනතුරක් වුන වෙලාවක ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් හැමදේම කරනව. හැමෝම ඉස්සරහ හිනාවෙලා හිටියට හිත යටින් නොසෑහෙන්න අඩනවා.

ඔන්න දැන් තේරෙනව ඇති පියාගේ සහ සං‍කේතාත්මක පියාගේ වෙනස මොකද්ද කියල. ඒවගෙ පරමාදර්ශී චරිතයක් ගැන තමයි දිවුල්ගනේ මහත්මය ගායනා කරන ඔය ගීතයෙන් කියවෙන්නෙ. ගැලපෙන පින්තූරයක් අමාරුවෙන් හොයාගත්තෙ.